Thursday, March 29, 2018

තත්පරෙන් තත්පරය..... 

දිවි විල් තෙර කැකුලු මව් කුස සේද මැදින්
පෙති හැර ලොවට පුන් කුසුමකි අද මෙලෙසින්
දින දින පැහැය සුවඳින් පිපි කුසුම ලෙසින්
උකුළෙහි නැළවු දරුවන් වැඩුනයි සුවඳින්.....

සිහිනෙන් මැවූ ඒ ලෝකය සැබෑ වෙලා
මවු පිය නෙතින් තුටු කඳුලැලි දෝර ගලා
රූබර තුරුණු විය දරු කැළ කෝළ වෙලා
ලය දරු සෙනේ ආලය ඇත මෝදු වෙලා.....

එදවස රුවින් විරියෙන් ලොව කිරුලු දැරූ
අද මවු පිය ගතකි වැහැරුණු දෙනෙත් දැරූ
දරු ලොව හදා ළං වී මිතුදමින් මරූ
පින්බර මවුපියන් දුටු නෙතු කඳුලු ඉනූ.....

ලා කැකුලකින් සුවඳැති මල් පීදෙද්දී
සුවඳති මලක් බිඳ බිඳ මුකුලිත වෙද්දී
වැඩු ගුණ සුවඳ පමණක් ලොව ගැබ් වෙද්දී
මෙය වේ දිවිය තේරුම් ගත යුතු සිද්දී.....
වීණාවී..... 🎼🎵🎶

සුකොමළ මුදු රුවැති දෑඟිලි පහස වැදී
උමතුය පෙම්බරය ආදර හැඟුම් විඳී
වැයෙනා තාල දෙසවන රැවු දෙනා පැදී
ගත කිති කැවී හඬ නැගුවයි ස්වර සෙ පැදී.....

රූබර බිසෝ කෙහෙරැළි රඟනා වු රුවින්
තත් හඬ නගයි මවනා මුදු සිනා නදින්
ඈ පා සැරසු නූපුර මවනාවු නදින්
මී රස හොවා දෙසවන් සනසනා ලෙසින්.....

ඈ මුව බඳින පදයට පෙම් බඳින මන
ඈ රුව පතා පෙරුමන් පුරනා වු දන
දෝතෙහි හොවා ස්වරයට මුල පුරන දන
වීණාවියකි ගත සිත සනසනා දන.....
සඳට පෙමින්.....
 
නීල කෙහෙරැලි රඟන රැඟුමන් මුදු පවන හා බැඳි පෙමින්
සේල පවනට නතුව රැඟුමන් ගත දොවා සිහිලැති බවින්
කෝළ සඳවත හෙලන බැල්මන් කිති කවා ගත මුදු පෙමින්
නීල නෙතු අග රැඳුන කැල්මෙන් ඔබද මා හද ගෙන හොරෙන්.....😍

අඳුරු ගුවනත රනින් සැරසුනු වළාවකි සඳ හා පෙමින්
වැළඳ සඳවත ආල පෙන්වා කෝළ වී දිව යන පෙමින්
තාරකා නෙතු වසා පොපියන සියල් තතු දැක කෝළයෙන්
සිනා පානා ඔබේ නෙතු මුමුණනා වදනකි සෙනෙහසින්..... 😍

තනිව හිනැහෙන මුවේ හසරැලි දුවන විට මතකය මැදින්
කවුරුදෝ ඇවිදින් සරයි සිත සඳේ මුදු කැල්මන් මතින්
සොඳුරුතම මේ රැයේ පොපියන හැඟුම් සෙනෙහස් ගඟ මැදින්
සඳයි ඔබ ලොව සිසිල කැන්දූ හොරෙන් පෙම් බඳිනෙමි සිතින්.....   


රජ මැදුරක පුවතක්.... 👑

පින්සල් තුඩක නෙක පෑබර රුසිරි ගෙතුම්
පැන්සල් සිතුම් කවමින් හද පාට පැතුම්
වාසල් දොරටු අතරින් හද විවර සිතුම්
සුවිසල් සිහින මන්දිර මැද සිතැඟි දැකුම්.....

මිහිරැති වෙණ නදට පෙම් කවි තනුව කවා
කොමලැති දෙනෙත් ඔබ රූ අඳුනෙන්ම දොවා
හිතැති ලෙසින් හද විල පෙම් මලක් මවා
පෙම් ලොව කිරුළ පරයයි රජ මැදුර පවා.....

නෙක රන් බරණ පරදන රන් ලියක රුව
නෙක සිරි පැරදි දිගු දෙනයන ආල රුව
හදවත සිදුරු කළ පෙම් කගපතක කව
මෙලෙසින් ලද වගයි අබිසෙස් ප්‍රේම ලොව.....

Tuesday, March 21, 2017

පළමු හමුවීම.....



දෙහදක ඇතිරු පෙම් කැටයම් මැවූ රටා
ඇරයුම් ගෙනා කුස සැතපුණු සිඟිති රටා
මා මෙන් ඇයද දුටු සිහිනය නෙතෙහි රටා
දෑතට ඇවිත් බිලිඳෙකු දිවි මවයි රටා.....

සඟවා සියල් දුක් හිනැහෙන ඇගේ වත
මොළකැටි රුවක් දඟලයි මා දෑත මත
මවු පිය වරම් ගෙන ලොව ආ මෙ මල වත
දැකුමට පින්බරය කඳුලැලි හෙළන නෙත.....

හමනා කිරි සුවඳ පුතු සියොළඟම වෙලී
ඇගෙ සෙනෙහස් සුවඳ බව මා දනිමි දිළී
මතු ලොව දිනන පුතු පැතුමන් පැසක ගිලී
මුලු ලොව මටයි මා සෙනෙහස් ගඟුලෙ ගිලී.....


Tuesday, December 13, 2016

උන්මාද චිත්‍රාවන්.....


නීල තඹරු පෙති පරයන දෙනයන කෝළයි
රක්ත දෙතොල් අග වෑහෙන වදනින් කෝළයි
දෙකොපුල් නහවා නලියන හසරැලි බෝමයි
සිතුවම් වූ චිත්‍රාවකි හදවත උමතුයි.....


ඈ හද රාවය ගෙන තුරු මල් බර වූවයි
රූ දකිනට තුරු හිස් අහසට ළන් වූවයි
කවුලු අතර රැඳි ඈ වත පැතුමන් බෝමයි
සිර වූ සඳවතියකි රූ සිරි නම් බෝමයි.....

වරලස රැඳි කුසුම් සොයා බඹරිඳු ඇදෙනා
මුතු හර පැහැ ගත් ගෙල වට පැතුමන් රැඳෙනා
තනිකම දෑඟිලි තුඩඟින් ස්වර වී වැයෙනා
ආදර ගඟ දෝර ගලා එක්ටැම වැහෙනා.....

නිමාවක් සොයන ඇරඹුමක්.....


නැවතුම් සිතක සිතුවිලි ඇරඹුමක් වෙලා
සොයනා නිමාවම යළි ඇරඹුමක් වෙලා
හද පීදෙන හැඟුම් නැත තව නිමා වෙලා
වැට කොටු බැඳ තබමි ඇරඹුම දුකක් වෙලා.....


දින සති පුරා බිම දෙවු වැසි අවසන්ය
සිහිලැති පවන් සිඹි හිරිකඩ නැති හැඩය
එනමුදු හද බරිත හිරිගඬු තව මත්ය
ඇරඹුම වෙලා නිම වූ ඒ අහස් දිය.....

නවතින එබෙන සැඟවෙන යළි පිපෙන හතු
වැනි වූ හදක ඇත නිසසල බොහෝ තතු
නිම වෙන හඬන සිත යළි ඇරඹුමක් පැතු
කෙදිනක නිමා වේදෝ මේ සසර මතු.....

තත්පරෙන් තත්පරය.....  දිවි විල් තෙර කැකුලු මව් කුස සේද මැදින් පෙති හැර ලොවට පුන් කුසුමකි අද මෙලෙසින් දින දින පැහැය සුවඳ...